මගෙ යාලුවෝ

Wednesday, November 9, 2011

4. සයිමන් අංක එක සහ දෙක

ගිරිතලේ සයිමන් අන්කල්
 මතක හිටින සයිමන්ලා දෙන්නෙක් මට මගෙ ජීවිතේදි හම්බවෙලා තියෙනවා.

පළවෙනි සයිමන් මට හම්බ උනේ 1980 ගණන්වල කුමන දී. අම්පාර දිස්ත්‍රික්කයේ පහලම කෙලවරේ තියෙන කුමන ගමට ආසන්නම නගරය පොතුවිල්. පොතුවිල්වලින් පානමට ගිහිල්ලා අලි, කොටි, වලස්සු ඉන්න කැලේ මැද්දෙන් කිලෝ මීටර් තිස් පහක්  යන්න ඕනෑ කුමනට. සම්පුර්න දුර කිලෝ මීටර් පනහක්. ඒ කාලේ කුමන සයිමන් අය්යා කුමන හා පොතුවිල් අතර පාරිභෝගික භාන්ඩ ප්‍රවාහන සේවයක් පවත්වාගෙන ගියා. එතකොට වයස හැත්තෑව පැනලා හිටපු, එක ඇහැක් විතරක් පේන සයිමන් අය්යගෙ වාහනේ රාමුවට අමතරව තිබුනෙ රෝද දෙකයි, හැන්ඩ්ල් එකයි, පැඩල් දෙකයි විතරයි. අතරමග ඕකන්දෙ හිටපු අපිට සයිමන් අය්යා බීඩි සිගරට්, සීනි තේ කොල ගෙනත් දෙන්නෙ පොඩි කොමිස් එකකුත් තියාගෙන. සයිමන් අය්යා ගැන වැඩි විස්තර මගේ 'යාල නැගෙනහිර - වන මං' පොතේ තියෙනවා.

දෙවෙනි සයිමන් මට මුණ ගැහෙන්නෙ ගිරිතලේ දී. සයිමන් අන්කල් නොහිටියානම් ගිරිතලේ මට අපායක් වෙනවා.

මම දැකපු හොදම '5 එස්' තියෙන්නෙ හැත්තෑව පැනපු සයිමන් අන්කල් ගේ කුස්සියේ. හැම දේකටම නියමිත තැනක් තියෙනවා. මට කරන්න තියෙන්නේ අවුල් කරලා දාන්න විතරයි. පහුවදාට සේරම බඩු ආපහු තිබුනු තැනටම යනවා.

සත්කාරයට බර සයිමන් අන්කල්ගෙ කෑම රසයි, ඒත් මට පොඩි ඇදයක් තිබුනා. හැමදාම බත් ගොඩක් ඉතුරු වෙනවා. කෑම අපතෙ යන එක ගැන අකමැත්තක් පෙන්නුවත් වැඩි වෙනසක් උනේ නෑ.

'අන්කල්ගෙ යාලු බල්ලො ‍රැලක් ගෙදර යන පාරෙ කැලේ ඉන්නවා'. දවසක් අන්කල්ගෙ ගමේ ඉදලා වැඩට එන කොල්ලෙක්ගෙන් තොරතුරක් ලැබුනා. 'අන්කල් උන්ට බත් ගෙනිහින් දෙනවා' කේළමා තව දුරටත් පැහැදිලි කළා. ඒක අහලා මගෙ ඇදේ ටිකක් ඇරුනා. ගිරිතලේට දවසක් දෙකක් නතර වෙන්න එන මගෙ යාලුවො උනත් ඉස්සෙල්ල හොයන්නෙ අන්කල් ඉන්නවද කියලා.

'ගමේ එවුං බලු පැටව් කැලේට ගෙනත්  දානවා. උන් බඩගින්නෙම මැරිලා යනවා' අන්කල්ම දවසක් හෙමින් සැරේ කිව්වා. 'යන එන ගමං මම උන්ට ගෙවල්වල ඉතුරු වෙන බතුයි, වතුරයි ගෙනිහින් දෙනවා. උන් මම එනකම් මග බලාගෙන ඉන්නවා'

ඊට පස්සෙත් දවසක්, දවල්  ඉතුරු වෙච්ච බත් ටිකක් රත් කරල රෑට කමු කිව්වහම අන්කල් කතාවක් නැතුවම බත් ටික රත් කරල මෙසෙ උඩින් තිබ්බා. 'අද බල්ලන්ට ගෙනියන්න දෙයක්  නැද්ද ..?' මටත් නිකමට ඇහුනා.

 'කඩෙන් පාං ගෙඩියක්වත් ගෙනියන්න බැරියෑ ..' අන්කල් අහක බලාගෙනම උත්තර දුන්නා.

අන්කල්ගෙ ඉවිල්ල ගැන මට දැන් ඇදයක් ඇත්තේම නෑ.


කුමන සයිමන් අය්යා ගැන ඉංග්‍රීසියෙන් කියවන්න wildlifegiritale