මගෙ යාලුවෝ

Friday, April 20, 2012

17. මදිනවත්තේ පිස්කල් රාළහාමි




 මේ ළඟදි පත්තරවල තිබුනා, වේයන්ගොඩ පැත්තේ කෝච්චියකින් වැටිලා රෝදවලට කකුල් දෙකම වෙන්වෙලා ඉන්දෙද්දිත් පැය එකහමාරක් තිස්සේ තමන්ගෙ අම්මත්, නංගිත් ගැන කතාකරකර ඉඳලා මියගිය තරුණ ළමයෙක් ගැන ඉතාම සංවේදී කතාවක්. ඒ වගේ බරපතල තුවාලවලින් වේදනාවක් ඇති නොවන බව මම අහලා තිබුනත්, නියත මරණය ඉදිරියේ ඇතිවෙන කම්පනය දරාගෙන තමන්ගෙ ආදරණීයයන්ට ඇතිවෙන දුක ගැන හිතන්න, ඒ දරුවට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඇති කියලා මට හිතෙනවා.

ඒ ප්‍රවෘතිය දැකලා, ළං ළංව එන මරණය දැක දැක, ඊට ඉතාම සන්සුන්ව සූදානම් වූ වැඩිහිටියන් දෙන්නෙක් ගැන මට මතක් උනා. මේ ලියන්න සූදානම් වෙන්නෙ එයින් එක්කෙනෙක් ගැන.

ගාල්ලෙ, කීඹිය පැත්තෙ ජීවත්වුන පලිහපිටිය ගමගේ කරෝලිස් ඉපදුන වර්ෂය ගැන නිශ්චිතවම කියන්න බැරි උනත්, දරුවන්ගෙ වයස අනුව ඔහු ඉපදුනේ අඩුම තරමෙ 1890 ආසන්න වර්ෂයක  කියලා අනුමාන කරන්න පුලුවන්. තරුණ වයසෙදි තේ වත්තක සේවය කළ ඔහු නිසි වයසෙදි සුදුසු කාන්තාවක් එක්ක විවාහ උනා. දෙමාපියන්ගෙන් උරුමවුන ඉඩකඩම් ඉතාම හොඳින් කළමනාකරණය කළ ඔහු, තමන්ට අයත් මදිනවත්ත ඉඩමේ ලොකු ගෙයක් හදලා පදිංචි වෙන්නත් සූදානම් උනා.


පිස්කල් රාළහාමි මදිනවත්තේ පදිංචිව සිටි නිවස

විවාහයක් කරගෙන, ගෙයක් දොරක් හදාගෙන ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කළත් ඔහුගෙ ජීවිතේ ලොකු අඩුපාඩුවක් තුබුනා. අවුරුදු කීපයක් ගත උනත් පළමු විවාහයෙන් ඔහුට දරු පල ලැබුනේ නෑ. දරු මල්ලො හදාගෙන ඉදිරි පරම්පරාව දකින්න ලොකු බලාපොරොත්තුවකින් හිටියත්, ඒ වාසනාව නොලද නිසාම ඔහු පස්සෙ කාලෙකදි මත්පැන් පානය කරන්න පෙළඹුනාලු. (එකත් එකටම කිතුල් රා වෙන්න ඕනෑ, ගේ වටේටම කිතුල් ගස් ගොන්නක් තිබුනා). ඉතින් අවසානයෙදි දෙන්නගෙ වැඩිහිටියො සේරම එකඟ වෙලා ඒකට අපූරු විසඳුමක් දුන්නා. විසඳුම තමයි පළමු බිරිඳගෙත් එකඟත්වය ඇතිව ඇයගෙ නැගණියත් කැන්දාගෙන ඒම.



පලිහපිටිය ගමගේ කරෝලිස් පිස්කල් ආරච්චි

දරුවන් ලැබීමේ ආසාව නිසා සැමියා තම  නැගණිය කැඳවාගෙන ඒම, පළමු බිරිඳ පිළිගත්තේ ඉතාම උපේක්ෂාවෙන්. ඇය සැමියා සහ නැගණිය සමග ඉතාම සාමයෙන් අලුතින් හදලා පදිංචිවුන ගෙදර ජීවත් උනා. පස්සෙ කාලෙකදි ඔහුට ගාල්ලෙ උසාවියෙ පිස්කල් ආරච්චි තනතුරක් ලැබිලා 'මදිනවත්තෙ පිස්කල් රාලහාමි' නමින් හැඳින්වුනා. දෙවෙනි බිරිඳගෙන් ලැබුනු දරුවන් අට දෙනා නිසා ඉතාමත් වාසනාවන්ත පවුල් ජීවිතයකුත් ගත කරන්න ලැබුනා. පළමු බිරිඳත් ඒ දරුවන් තමන්ගෙම දරුවන් වගේ ‍රැක බලා ගත්තා.  කළ වරදකට  තමන්ගෙ අම්මා දඬුවම් කරන්න හදනකොට ඒ දරුවො දුවගෙන ගියේ ලොකු අම්මා ගාවට. 'මේ දරුවො උඹේද .. මගේද ..  ? ..' කියලා ලොකු අම්මා ඒ වෙලාවට දරුවන්ට  තමන්ගෙ තියෙන නීතිමය අයිතිය මතක් කරළා දුන්නා කියලා මම අහලා තියෙනවා. ජීවිත ගැටලුවලට ඒ වගෙ සන්සුන් සිතින් මුහුණ දීපු වෙන කාන්තාවක් ගැන මම අහලා නෑ.

පස්සෙ කාලෙක පිස්කල් රාළහාමිගෙ දූ දරුවො ලොකු මහත් වෙලා හොඳින් ඉගෙනගෙන වැඩි දෙනෙක් රජයේ සේවයට එක්වුනා. එක පුතෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වුනා. ඔහුගෙ පළමු බිරිඳ මියගියේ පනහ දශකය අවසානයෙදි. ඊට පස්සෙ තමයි රාළහාමිගෙත්, දෙවෙනි බිරිඳගෙත් විවාහය ලියාපදිංචි කළේ. එතකොට දරුවන්ටත් දරුවො ලැබිලා.

ඉතින් දරුවො දීගතල දීලා, ඉතාම වාසනාවන්ත ජීවිතයක් ගත කළ මදිනවත්තෙ පිස්කල් රාළහාමි, 1974 වර්ෂයෙ මැදදි තමන්ගෙ ජීවිතයෙ අවසානයට සූදානම් වෙමින් හිටියා. ඒ සඳහා ඔහු වෙත  තිබුනු සූදානම හෙළි වෙන්නෙ, මරණයට මාස කිහිපයකට කලින් සිය වැඩිමහල් දියණියට, තමන්ගෙම අත් අකුරින් ලියා එවූ ලිපියකින්. ඒ ලිපියේ ස්කෑන් කරපු ඡායාරූපයක් මේ පොස්ට් එකේ ඇතුලත් කරලා තියෙනවා. ඒකෙ ලියවිලා තියෙන්නෙ, සදාකාලිකවම ජීවත් වෙනවා කියලා හිතාගෙන ජවුසං නටන අපි විසින්, නැවත නැවතත් හිතා බැලිය යුතු අදහස් කීපයක්,



පිස්කල් රාළහාමි සිය වැඩිමහල් දියණියට ලියූ අවසන් ලිපිය


' තිසරණ සරණ වේවා, ආධරවන්ත දුවනිය වෙත ලියා තියන්න මට හිතුනා. එම නිසා මම මෙසේ ලියා තබමි. දුව මෙහි ඇවිත් ගියාට පසු මට අසනීප ගති ඇති උනා. මොනවා කරන්නද මේ ලෝකෙ  ජීවත් වෙලා හැමදාම ඉන්න බැරි
බව මම දන්නවා. මගෙ ගෑනු ලමයින්ට කවදා හරි හොඳ කලක් යාවිය කියා මම සිතමි. මගේ ..... පුතා ගැන මට කනගා‍ටු හිතෙනවා. ඒ දෙන්නම රටේ හොඳ හිත තියාගෙන ඉන්න දන්නෙ නෑ. මගේ මරනේ කෙරුනම දෙල්ගොඩ ඉන්න පුතාට කියා ඇති ගෙට බස්නා ඉර පැත්තේ ඇල්බීසියා ගහට යටි පැත්ත එලිකරවා ගන්ට. මම කියා ඇති පුච්චන්න ඕන නම් කජ්ජු ගහක් කපාගත්තාම ඇති. මෙහි යම් සුලු මුදලක් ඇති. එය මගේ මරනෙට ගන්න. මගේ ලොකු දුවත් ලොකු බෑනත් අම්මාට කර සාත්තු ඇති සසර කොට කර ගන්න. හොඳටම ඇති. ඔබ දෙපලට නිවන් සැප ලැබේවා. - පියා (පී. ජී. කරෝලිස්)'

ඉතාම සංසුන් සිතින් සිය මරණයට නිර්භයව සූදානම් වෙන මිනිසෙකුගේ සිතුවිලි, ඒ ලිපියේ ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ජීවිතයේ අනියත බව, දරුවන්ගෙ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු, අසල්වාසීන් එක්ක හොඳ හිත පවත්වා නොගත් දරුවෙකු ගැන කණගා‍ටුව, ඒ ලියුමේ කියවෙනවා. ඒ වගේම මරණයෙන් පසු සිය අවමංගල කටයුතු පවා ඔහු සැලසුම් කරනවා. ආදාහනය කල යුතු තැනත්, ඒ සඳහා කපාගතයුතු ගහත් නියම කරනවා. වියදම් සඳහා මුදලක් පවා ඉතුරුකර තබනවා. සිය බිරිඳගෙ අවසන් කාලයේ ඇයට ඇප උපස්ථාන කළ ලොකු දියණියට හා බෑනාට ඔහුගේ ආශීර්වාදය හිමි වෙනවා.

මම මේවා ලිව්වෙ ඒ චරිතවල අපේ ජීවිතවලට එකතුකර ගත හැකි බොහෝ දේ තියෙනවා කියලා හිතුනු නිසා. මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ ජීවිත කතාවෙ සිදුවුනු සමහර දේවල් සමාජ සම්මතයන්ට විරුද්ධ ඒවා කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් දැනට අවුරුදු සීයකට ආසන්න කාලයකට ඉස්සර ඉතාම ග්‍රාමීය පරිසරයක සිද්දවුනු ඒවා, වර්තමානයෙදි ඔහුට හෝ මේ වෙනකොට සමාජයේ විවිධ තරාතිරම්වල ‍රැඳිලා ඉන්න ඔහුගෙ දරුවන් හා ඊට පසු පරම්පරා දෙකක දරුවන්ට කිසිසේත්ම අගෞරවයක් නොවිය යුතුයි. ඔහුගෙ ලොකු පුතාගෙ දරුවෙක් අමරකීර්තියක්ලත්, අති විශිෂ්ඨ ලේඛකයෙක්.

මේක ලියවුනෙ සියයට සියයක් සත්‍ය කරුණු මත බව ලියලා තියන්න ඕනෑ. ඒ වගේම මේක ලියන වනජීවියා, මදිනවත්තෙ පිස්කල් රාළහාමිගෙ අවසන් ලිපියෙ සඳහන් ලොකු බෑනාට දාව ආදරවන්ත ලොකු දුවණියගෙ කුසෙන් බිහිවුනු එකෙක් බව කියන්නත් කැමතියි.



Sunday, April 1, 2012

16. ඇන්ටි රේබීස්



'මීට පස්සෙ කකුස්සි කතා ලියන්න එපා ..' කියලා අපේ කෙල්ල නියෝගයක් පනවලා තියෙන නිසා ටිකක් සංයමයකින් බ්ලොග් එක ලියන්න වෙලා තියෙන්නේ. අපේ (මගේ) ගෙදර එක්කෙනාටයි, කෙල්ලටයි බයේ ජීවත් වෙන එක තරම් ජොලියක් මට තවත් නෑ.

අද ලියන්න යන්නේ තවත් පූස් කතාවක්.

පහුගිය දවස්වල අපේ ලොකු මස්සිනා මල්ලිට, උග්‍ර දියවැඩියාවට ප්‍රත්‍යක්ශ ඖෂධ හැටියට අරක්කු  සහ සිගරට් බීමේ ප්‍රතිපලයක් හැටියට සුමාන දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න සිද්ද උනා. මමත් ඉතින් යුතුකමක් හැටියට ඌව බලන්න ඉස්පිරිතාලෙ ගියා. ඉස්පිරිතාලෙ වාට්‍ටුව ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තියෙන්නෙ වොලිබෝල් කෝට් එකක්. ඒක අයිනෙ බයිසිකලේ නවත්වලා වාට්‍ටුවට යන්න හදනකොට තමයි අපි (මායි මල්ලිගෙ කොල්ලයි) දැක්කෙ වොලිබෝල් කෝට් එක අයිනෙ මනුස්සයෙක් පිහිය කෑල්ලකුත් අරගෙන මොකද්ද ලොකු ඔපරේෂන් එකකට ලෑස්ති වෙනවා. අපිත් ඉතිං සංසාර පුරුද්ද අනුව ඒ මොකද්ද කියලා හොම්බ දාලා බැලුවා.

ලංවෙලා බැලුවහම තමයි අපට පෙනුනේ පොර ට්‍රයි කරලා තියෙන්නෙ වොලිබෝල් කෝට් එක වටේ තියෙන නෙට් එකේ පැටලිලා ඉන්න පූස් තඩියෙක් බේරන්න කියලා. පූසගෙ අඬු හතර ඒ වෙනකොට හොල්ලන්න බැරි වෙන්න පැටලිලා ඌ මර බයේ බෙරිහන් දෙනවා. අපි දෙන්නටත් ඉතින් සත්ව කරුණාව පහල වෙලා අර පොරට සපෝට් එක දීලා නෙට් එක කපලා පූසා එලියට ගත්තා.

නෙට් එකෙන් එලියට ගත්තත් පූසා තවමත් කැපුනු නෙට් කෑල්ලේ පටලැවිලා. අත පය හොල්ලන්න බැරි උනත් කිට්‍ටු වෙනකොට කන්න පනිනවා මල යකා වගේ.

වනජීවියෙක් හැටියට මගේ අත්දැකීම තමයි එහෙම වෙලාවට කරන්න ඕනෑ සතාගෙ ඇස් දෙක වහන එක. අවට පේන කොට තමයි වල් සත්තු එහෙම වෙලාවට කලබල වෙන්නේ. හොඳම දේ තමයි රෙද්දක් දාලා ඔලුව වහන එක. එතකොට උන් නිශ්චල වෙනවා.

කොහොම උනත් ඒ වෙලාවෙ අපිට රෙදිකෑල්ලක් හොයා ගන්න බැරි උනා. ලඟ තිබුනු පොලිතීන් බෑග් එකකින් මූණ වහලා නෙට් කෑල්ල කපන්න ට්‍රයි කරද්දි පූසා එකපාරටම පැනලා මගෙ ඇඟිල්ලක එල්ලුනා. ඉඳික‍ටු වගේ උගෙ දත්වලට ඇඟිල්ලෙන් ලේ විදින්න පටන් ගත්තා.

කොහොම හරි පස්සෙ වාට්‍ටුවෙ හිටපු මනුස්සයෙක් දීපු තුවායක් පූසගෙ ඔලුවට දාලා නෙට් කෑල්ල කපලා නිදහස් කරලා ඇරියා.

ඉතින් මම මේ ටික ලිව්වෙ අපි වැඩිය සැලකිල්ලක් නොදක්වන  වැදගත් කාරණාවකට එන්න පූර්විකාවක් හැටියට. මේ වගෙ ක්ෂීරපායී සතෙක් කෑවහම තියෙන ලොකුම අවදානම තමයි ජලභීතිකා රෝගය හැදෙන්න තියෙන හැකියාව. 'පිස්සු බලු රෝගය' කියලා සාමාන්‍යයෙන් හඳුන්වන නිසා වැඩිදෙනෙක් හිතනවා මේක බල්ලන්ගෙන් විතරයි බෝවෙන්නෙ කියලා. ඒත් අලි, වවුලො වගෙ සත්තුත් මේ රෝගයෙ වාහකයන් බවට හඳුනාගෙන තියෙනවා.

ජලභීතිකාව මිනිහෙකුට හැදෙන්න පුලුවන් කාලකන්නිම රෝගයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න දින 10 සිට අවුරුදු 7 ක් දක්වා කාලයක් ගතවෙන්න පුලුවන්ලු. මොළය ඉදිමිලා මධ්‍ය ස්නායු පද්ධතිය අකර්මණ්‍ය වෙලා තමයි කප් එක ගහන්නෙ. ලංකාවෙ අවුරුද්දකට සියයකට ආසන්න පිරිසක් මේ රෝගයෙන් මැරෙන බව වාර්තා වෙලා තියෙනවා. සතෙක් කෑවට පස්සෙ රෝගය වලක්වගන්න තියෙන එකම ක්‍රමය තමයි ජලභීතිකා රෝගයට ප්‍රති එන්නත (Anti Rabies Vaccine) ගන්න එක. සාමාන්‍යයෙන් පිටගැස්ම වලක්වන එන්නතත් (Anti Tetanus) ඒ වෙලාවට දෙනවා.

මම ඉතින් පූසා කාපු එකට බෙහෙතක් විදගන්න දොම්පෙ ඉස්පිරිතාලෙට ගියහම එතන හිටපු නර්ස් නෝනා කොමලයක් පාලා කිව්වා 'ඔයාට ඇන්ටි රේබීස් එක ගන්න ගම්පහට යන්න වෙනවා ...' කියලා. මිල අධික නිසා සාමාන්‍යයෙන් ඒ එන්නත තියෙන්නෙ  මහ රෝහල්වල විතරයි. ගම්පහ යන්න කරදර නිසා මම පෞද්ගලික තැනකින් පිටගැස්ම එන්නත විදගෙන ආපහු ගිරිතලේ ඇවිත් දවසකට පස්සේ පොලොන්නරුව රෝහලට ගියා බෙහෙත විදගන්න.

ඕපීඩී එක හරහා විස්සෙ වා‍ටුවට යවාපු මාව බලාපු දොස්තර නෝනා (නෝනෙක් කිව්වට අවුරුදු විසිපහක විතර දොස්තර කෙල්ලෙක්) පූසා කාපු ඇඟිල්ල බලලා ඉස්සෙල්ලාම ඇහුවෙ කවද්ද කෑවෙ කියලා. කාපු දවස කිව්වහම 'සතෙක් කෑවහම පැය 72 ක් ඇතුලත බෙහෙත විදින්න ඕන බව දන්නෙ නැද්ද?' කියලා දොස්තර නෝනා අහක බලාගෙනම ඇහුවා. මම ඇත්තටම ඒක දැනගෙන  හිටියෙ නෑ. ජලභීතිකා වයිරසය ක්‍රියාකාරී වෙන්න කලින් එන්නත ගන්න එක වැදගත්.

දොස්තර නෝනා ලියා දීපු තුන්ඩුව අරගෙන ඊලඟට වාට්‍ටුවෙ නර්ස් නෝනා පටන් ගත්තා. ' සරමක් ගෙනාවද ..?' මම මෝඩ හිනාවක් දාලා ' නෑ .. ' කිව්වා.

'කකුල්වලටත් විදින්න තියෙනවා කාට හරි කියලා සරමක් ගෙන්න ගන්න .. ' උන්දෑ කියාපි.

'මම එලියට ගිහිල්ලා සරමක් ගේන්නම් ..' කියලා මම යන්න හදනකොට ඊලඟට කියනවා 'ඔයාව දැන් වාට්‍ටුවට ඇතුල් කරගෙන තියෙන්නෙ .. එලියට යන්න දෙන්න බෑ .. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරලා කියන්න .. ' කියලා.

මම ඉතින් දෙවෙනි මෝඩ හිනාවත් දාලා කිව්ව 'හෑන්ඩ්  ෆෝන් එකක් නෑනෙ .. ' කියලා. එතන හිටපු නර්ස් නෝනලා තුන් හතර දෙනාම හිඟන්නෙක් දිහා බලන විදිහට මගෙ දිහා බලාගෙන ඉන්නකොට එක නෝනෙක් මට එයාගෙ ෆෝන් එක දික්කළා. මමත් ඉතින් කෘතඥතා පූර්වක හිනාවක් දාලා ඒක අරගෙන කෝල් එකක් දාලා අජියට සරමක් ගේන්න කිව්වා.

ඊලඟට මගෙ බර කිරලා, අජියා ගෙනාපු සරම ඇඳ ගත්තට පස්සෙ පළවෙනි බෙහෙත විදින්න යැව්වා. මට තේරුන විදිහට ඒක ඇන්ටි රේබීස්වලට මම අසාත්මිකද කියලා බලන්න විදින එකක්.  'බෙහෙත විදලා හුස්ම ගන්න අමාරුවක්, කැසිල්ලක් දැනුනොත් කියන්න ඕනෑ .. එහෙම උනොත් අපි ඔයාව අයිසීයූ එකට දාලා විදින්නේ ..' නර්ස් නෝනා අනතුරු ඇ‍ඟෙව්වා.

පළවෙනි එන්නත අවුලක් උනේ නැති නිසා ලොකු එන්නත විදින්න ඊලඟට තව දොස්තර නෝනා කෙනෙක් ලඟට යැව්වා. 'බර කිලෝ 98 ක් නේද ..' මගෙ ඇඟේ බරට එන්නතේ ඩෝස් එක හදන ගමන් නෝනා අහනවා.

'ඔව් ටිකක් බර වැඩියි ..'

'මොකක් ..?'

'බර හුඟක් වැඩියි තමයි ..'

'හ්ම්ම් .. මට ඇහුනෙ ටිකක් වැඩියි කියනවා වගේ ..' නෝනා මගෙ මූණවත් බැලුව නෑ.

ඉස්සෙල්ලාම විද්දෙ පූසා කාපු ඇඟිල්ලට. මට දැනුනෙ ඇඟිල්ල ගිනි ගත්තා වගේ. පුදුම දැවිල්ලක්.

ඇටෙන්ඩන්ට් කොලුවෙක් මගෙ සරම අවශ්‍ය ප්‍රමාණයට පමණක් උස්සලා අල්ලගෙන ඉන්නකොට දොස්තර නෝනා සිරින්ජයේ තිබුනු ඉතුරු බෙහෙත් ටික කකුල් දෙකට විද්දා. ටික වෙලාවක් යනකොට මට දැනුනෙ මගෙ කකුල් දෙක පොල්ලකින් ගහලා කඩලා වගේ.

ඊට පස්සෙ ඕපීඩී එකට යවලා තවත් එන්නතක් අත්දෙකටම ගස්සලා, පැය තුනක් විතර තියාගෙන ඉඳලා,  'අද නාන්න එපා .. කඩ කෑම කන්න එපා .. අරක්කු සිගරට් බොන්න එපා ...' වගේ සාපරාධී බියගැන්වීම් ‍රැසක් කරලා තමයි මාව වාට්‍ටුවෙන් එලියට දැම්මේ.

ඉතින් මම මේ සේරම ලිව්වේ අපි වැඩිය ගණං නොගන්න පුංචි සත්තු  උනත් සපාකෑම ලොකු තර්ජනයක් වෙන්න පුලුවන් බව කියන්න. ගෙවල්වල හදන බල්ලො බළල්ලු අනිවාර්යයෙන්ම එන්නත් කරවා ගන්න ඕනෑ. නොදන්න සතෙක් කෑවොත් කොච්චර කරදරක් උනත් අපි නියමිත කාලය ඇතුලත ජල භීතිකා ප්‍රති එන්නත ගන්න ඕනෑ. රෝහලෙන් දීපු කාඩ් එකේ හැටියට පලමු එන්නතෙන් පස්සෙ දින 3 කින්, 7 කින්, 30 කින් තව එන්නත් 3 ක් ගන්න ඕනෑ. 

ජල භීතිකාව ආසාදනයවුනු සතෙක් අනිවාර්යයෙන්ම දින 10 ක් ඇතුලත මැරෙනවලු. එහෙම සතෙක්ගෙ ඔලුව බො‍රැල්ලෙ වෛද්‍ය පර්යේෂණායතනයට (Medical Research Institute) එකට ගෙනිහිල්ලා රෝගය ආසාදනය වෙලා ද කියලා තහවුරු කරගන්න පුලුවන්.

මට දීපු කාඩ් එකේ තියෙන අවවාද ටිකත් ලියලාම මේක ඉවර කරන්නම්.

    -  නොදන්නා සුනඛයෙකු අතපත ගෑමෙන් වලකින්න
     -  බලු පැටවුන් වඩා ගැනීමේදී බල්ලාගේ මුඛය මුහුණට ළං නොකරන්න
    -  විශ්වාස තැනක විධිමත් ලෙස ඇති කරන බැල්ලියකගේ පැටව් පමණක් ඇති කිරීම සඳහා ගන්න
    -  නොදන්නා පැටවකු ඇති කිරීමේදී එන්නත් ලබා දී මාසයක් වෙන් කර තබන්න
    -  සපා කන බල්ලන් ඇති කරන නිවෙස්වල 'බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න' දැන්වීම ප්‍රදර්ශණය කරන්න
    -  සපා කන බල්ලන්ට කට කලියාවක් දමන්න
    -  සති පහකට වැඩි බල්ලන්ට වාර්ෂිකව එන්නත ලබා දෙන්න
    -  බල්ලන් ‍රැලේ යන මද කාලයට සතුන් වෙන් කර තබන්න
    -  අනවශ්‍ය පැටවුන් බෝ වීම වලක්වා ගැනීමට පශු වෛද්‍ය උපදෙස් ගන්න
    -  සැක සහිත බල්ලෙකු හෝ වෙනත් සතෙකු සපා කෑ විට
             -  තුවාලය සබන් ගා ගලා යන ජලයෙන් විනාඩි 10 ක් සෝදා හරින්න
             -  සපා කෑ සතාගේ හිස වහාම බො‍රැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ගෙන ගොස් වාර්තාවක් ලබා ගන්න.

බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු හුරතල් නොකළට, පොලොන්නරුවෙ රෝහලේ වෛද්‍ය, හෙද, හෙදි කාර්ය මණ්ඩලය ඉතාම කාරුණිකව ලෙඩ්ඩුන්ට සලකන බවත් ලියලා තියන්නම ඕනෑ.