තවත් සතියක් දෙකක් යනකම් අලුත් පෝස්ට් එකක් දාන්න අදහසක් නොතිබුනත්, හදිසියෙම හැම අවුරුද්දකම මැයි 14 වෙනිදට මතක් වෙන එක සිද්ධියක් නිසා මේ කතාව ලියන්න හිතුනා.
1983 ජුලියෙදි උතුරෙන් විහිදුනු කොටින්ගෙ අඬු පඬු, 1985 වෙනකොට නැගෙනහිරටත් විහිදිලා තිබුනා. මුලදි උන්ගෙ ඉලක්කය උනේ රජයේ කාර්යාල. අම්පාර දිස්ත්‍රික්කයෙ පහල කෙලවරේ කුමන තිබුනු අපේ කාර්යාලයෙ තිබුනු සේරම උන් දෙපාරක්ම ඇවිත් මංකොල්ල කාගෙන ගියා. අපි බැරිම තැන සේරම අතෑරලා එතනින් ඉවත් උනා.
වෙනත් සේවා ස්ථාන බලාපොරොත්තුවෙන් කොලඹ ප්‍රධාන කාර්යාලයට ඇවිත් හිටපු අපිට, මැයි 14 දා දවල් වෙනකොට තමයි ඒ කාලකන්ණි ආරංචිය ලැබුනේ. අනුරාධපුරේ බස් නැවතුමෙයි, ශ්‍රී මහා බෝධිය ගාවයි හිටපු අහිංසක මිනිස්සු මරා දාපු කොටි, ආපහු යනගමන් විල්පත්තුවෙදි වනජීවී නිලධාරීන් හා සේවකයින් විසි ගනණක් මරාගෙන ගිහින් තිබුනා.
විල්පත්තුවෙම බටහිර පැත්තෙන් එලියට ආපු කොටි, එලුවන්කුලමට ඇවිත් පාන්දර බස් එක පැහැරගෙන අනුරාධපුර ටවුමට ඇවිත් 120 කට වැඩි පිරිසක් මරාදාලා, හුනුවිලගම ප්‍රධාන පිවිසුමෙන් ආපහු විල්පත්තුවටම ඇතුල් වෙලා තිබුනා. ඉස්සෙලාම උන් පිවිසුම් කාර්යාලයෙ හිටපු ඒබ්‍රහම් මහත්තයා අල්ලගෙන අනෙක් නිලධාරීන්, සේවකයින් සේරම පෝලිමට තියලා වෙඩි තිබ්බා. 10 ක් එතනදි මැරුණා. තුවාල වෙලා බේරුනු දෙන්නෙක් තවම ජීවතුන් අතර ඉන්නවා. ඊට පස්සෙ විල්පත්තුව ඇතුලෙ මරදන්මඩුවෙදි 8කුත්, මරවිලදි 4 කුත්, මොල්ලිකුලමෙදි 2 කුත් මැරුවා. පාර අහගන්න බලෙන්ම අරගෙන ගිය ඒබ්‍රහම් මහත්තයා මරදන්මඩුවෙදි පණ බේරගෙන පැනලා ඇවිත් පස්සෙ විස්තරේ කියලා තිබුනා.
1949 ඉඳන් අවුරුදු 62 ක වන ජීවී සංරක්ෂණ ඉතිහාසයෙදි වරින් වර නොයෙකුත් හේතු නිසා නිලධාරීන් රාජකාරියෙ යෙදී සිටිය දී අනතුරට පත් වෙලා, මරණයට පත් වෙලා තිබුනත්, විල්පත්තුවෙදි 24 දෙනෙක් එකවර මියයාම අපට ලොකු කම්පනයක්වුනා. අනුරාධපුර සිද්ධියෙදි ලොකු පිරිසක් මැරුණ නිසා රටේ අනිත් අයට නම් ඒ වෙලාවෙ ඒක ලොකුවට දැනෙන්න නැතුවට ඇති.
1989 අගෝස්තු වෙනකොට මමත් හිටියෙ විල්පත්තුවෙ. ඒ වෙනකොට තවත් කිහිප පාරක්ම කොටි ඇවිත් අපේ දෙතුන් දෙනා මරලා තිබුනා. අලි මදිවට හරක් කියලා ඒ වෙනකොට අපේ දේශප්‍රේමී සහෝදරවරුත් වැඩ පටන් අරගෙන තිබුනේ. අපි උද්‍යාන පිවිසුමේ නිල නිවාසවල හිටියේ දවාලට විතරයි. රෑට ඇතුලෙ තැන් තැන්වල හැංගි හැංගි තමයි පන බේරගෙන හිටියේ.
එදා පඩි දවස. උදේ පාන්දර ලොක්කා, වසීර් මහත්තයා, ඇවිත් මටයි, මගේ අල්ලපු ඇඳේ නිදාගෙන හිටපු අම්පිටියටයි කෑ ගහලා කිව්වා 'අයිසෙ පඩි ගේන්න යන්න ලෑස්ති වෙනවා..' කියලා. අම්පිටියා දඩි බිඩි ගාලා නැගිටලා මූණ හෝදගෙන ලෑස්ති උනා. නැගිටින්න කම්මැලිකමේ මම එහෙමම ඉඳගෙන ඌට කිව්වා 'මචං සීනි ඉවරයි .. එනකොට සීනි ටිකක් ගෙනෙං .. ' කියලා. 'මං යනවා මචං ...' කියලා ඌ කලිසම ඇඳ ඇඳ ලොක්කා පස්සෙ දුවනවා මට තාම මතකයි.
හැන්දෑවෙ කලුවර වැටෙනකනුත් පඩි ගේන්න ගිය වාහනේ ආවෙ නෑ. රෑ රේඩියෝ එකේ රජරට ප්‍රවෘති අහනකොට තමයි දැනගත්තේ දේශප්‍රේමියෝ වාහනේට වෙඩි තියලා අම්පිටියයි, පොලිස් නිලධාරීන් දෙන්නෙකුයි මරලා පඩි සල්ලි බෑග් එකයි, තුවක්කුයි අරගෙන ගිහිල්ලා කියලා. ඊට කලින් මාසෙ පඩි ගේන්න ලොක්කත් එක්ක ගියේ මම. දේශප්රේමීන්ගෙ ජාත්‍යාලෙ මාසයකට කලින් පහල උනානං මේ බ්ලොග් එක කවදාවත් ලියවෙන්නෙ නෑ. මැරෙන්න ඕන එවුං ඉතුරුවෙලා, ඉතුරුවෙන්න ඕන එවුං මැරෙන එක සාමාන්‍ය ලෝක ස්වභාවය නේ. උපුල් සෙනරත් අම්පිටිය කියන්නෙ රැයක් දවාලක් නැති, දහ දෙනෙක්ගෙ වැඩ තනියම කරපු එකෙක්.
ඊට පස්සෙත් අවස්ථා බොහෝ ගනණකදිම වනජීවී නිලධාරීන් කොටි අතින් මරණයට පත් උනා. 1990 ජනවාරියෙ කුමන කිට්ටුව කුඩුම්බිගල දි මගේ පළමු වන්ජීවී ගුරුවරුන් දෙන්නගෙන් එක්කෙනෙක්, අරුල් අය්යා කොටි අතින් වෙඩි කාලා මැරුණා. සේරම හතර දෙනෙක් මැරුණ ඒ සිද්ධියෙදි මගේ බැචෙක්, කේටීපී පෙරේරා ත් මැරුණා. කේටීපී මැරෙණ වෙලාවෙ දරුවා මතක් වෙලා ' අනේ මගේ දුව .. ' කියලා ඇඬුවලු. වෙඩි කාලා වාහනේ අතුලෙම වැටුනු අයට යට වෙලා බේරුනු යසරත්න තවමත් දෙපාර්තමේන්තුවෙ සේවය කරනවා.
ලංකාවෙන් ත්රස්තවාදීන් අතුගාලා දානකොට, වරින් වර උන් අතින් වනජීවී නිලධාරීන් 40 ක් මැරිලා තිබුනා. පැහැරගෙන ගිය සමහර අයගෙ සිරුරුවත් හම්බ උනේ නෑ.
ත්රස්තවාදීන්ගෙන් ඇරුනහම අනෙක් වැඩිම තර්ජනය තියෙන්නේ දඩයක්කාරයන් ගෙන්. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට නිලධාරීන් 11 දෙනෙක් දඩයක්කාරයින් ගෙන් වෙඩි පාරවල්, පොලු පාරවල්, පිහිපාරවල් කාලා මැරිලා තියෙනවා.
වනසතුන් අතිනුත් වනජීවී නිලධාරීන් 14 දෙනෙක් මේ වෙනකොට මැරිලා තියෙනවා. එයින් 12 දෙනෙක්ම මැරිලා තියෙන්නෙ අලි ගහලා. අනිත් දෙන්නා වලස්සු, වල් මීහරක් පහරදීලා මැරිලා තියෙන්නේ. අත් වැරදීමෙන් ගිනි අවි පත්තු වීම වගෙ අනතුරුවලිනුත් 12 දෙනෙක් මැරිලා තියෙනවා. දෙපාර්තමේන්තු ඉතිහාසයෙ මේ වෙනකොට රාජකාරියෙ යෙදී සිටියදී අනතුරුවලින් මියගිය මුලු සංඛ්‍යාව 77 ක්.
ඉතින් මීට අමතරව බඳින තුවක්කු පත්තු වෙලා, ගුටි කාලා, පොලුපාරවල්, ඉල්ලං කූරු පාරවල් කාලා, අතපය කඩා ගත්තු, ඔලු පලාගත්තු, කෑලි අඩු කරගත්තු නිලධාරීන් සංඛ්‍යාව සිය ගනණක්. දඩයක්කාරයෙක්ගෙන් පොලු පාරක් කාලා ඔලු කට්ට කුඩු වෙලා, එතනට ප්ලාස්ටික් කෑල්ලක් දාගෙන අවුරුදු පහලවක් විස්සක් තිස්සේ වැඩ කරන නිලධාරියෙක් අදටත් දෙපාර්තමේන්තුවෙ ඉන්නවා. එකපාරක් වස්ගමුව ජාතික උද්‍යානෙ බටහිර මායිමෙ අනවසරයෙන් මැණික් ගරන එවුං අල්ලන්න ගිය අපේ කට්ටියකට මුලු ගමක් වට කරගෙන තැලුවා. පස්සෙ ට්‍රැක්ටරේක පටවාගෙන මහ පාරට ගෙනත් බිමට හලලා ගිහින් තිබුනා. ඒ සිද්ධියෙදි වැටලීම මෙහෙයවපු අඩවි සහකාර ධනසිරි මැරිලා, ඉතුරු හතර පස් දෙනා මාස ගාණක් ඉස්පිරිතාලෙ ලැග්ගා.
ඉතින් මේ තරම් නැහීගෙන මුං කරන මහලොකු රාජකාරිය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න බැරි නෑ. අලි කොටි වලස්සු, ගස්වැල් පරිස්සම් කරගන්න ඔච්චර ගුටි කන්න ඕනද ..?
අද අපේ රටේ මුලු බිම් ප්‍රමාණයෙන් 14% කට වැඩිය වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත්කරලා, හැම එකාගෙන්ම ගුටි කකා ආරක්ෂා කරගන්නෙ සංඛ්‍යාවෙන් 1200 ක් පමණක් වෙන මේ කස්ටිය. සියලුම මහවැලි ජලාශ ඇතුලු කෘෂිකර්මාන්තයට ජලය සපයන මහ පරිමාන ජලාශ 40 ක්, ඒවයෙ ජලපෝෂක ප්‍රදේශත් එක්කම ආරක්ෂා වෙන්නෙ ඒ 14% ඇතුලෙ. සේනානායක සමුද්‍රය, උඩවලව, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, මාදුරු ඔය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කලා වැව, මින්නේරිය, ගිරිතලේ ජලාශ එයින් කීපයක්. ඒ වගේම මහවැලි, කලු, කැලණි, වලවේ ගංගාවල්වල ජල මූලාශ්‍ර තියෙන්නෙ හොර්ටන් තැන්න සහ සමනල අඩවිය වනජීවී රක්ෂිත ඇතුලෙ. ජල විදුලිය 100%ක් ම වගේ නිපදවන්නෙ වනජීවී රක්ෂිතවලින් එන ජලයෙන්. අවුරුද්දකට ජාතික උද්‍යානවල සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකය ලබන ආදායම මිලියන 540 කට වැඩියි.
මේ වගේ බැලූ බැල්මට නොපෙනෙන, වනජීවී සංරක්ෂණයේ පැතිකඩ ගනණාවක් තියෙනවා. ඉතින් මේවා ගැන නොදන්න, නොහිතන, පත්තර ටීවීවල ඉන්න සමහර මාධ්‍ය පොරවල්, වල් අලියෙක් ඇවිල්ලා කෙහෙල් ගස් දෙකක් පෙරලුවහම, බඩ ඉරිඟු කරලක් කෑවහම, රෑ කරුවලේ වෙරිමරගාතෙ යන බේබද්දෙක් පැත්තකට තල්ලු කරලා දැම්මහම, දන්න සෙල්ලං ඔක්කොම දාලා දෙපාර්තමේන්තුව පතුරු අරිනවා. පොඩි දේකින් ලොකු ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා පත්තර පිටු, ටීවී ස්ක්‍රීන් වහ ගන්නවා.
ඒවා බලාගෙන ඉන්න අපට කට කොනකින් පොඩි හිනාවක් යනවා. උනුත් ඉතින් ජීවත් වෙන්න, අඹු දරුවන්ට කන්න දෙන්න කීයක් හරි හම්බකර ගන්නනෙ ඒවගෙ දේවල් කරන්නෙ ..නේද ..? ..පව් ...