මගෙ යාලුවෝ

Tuesday, August 14, 2012

24. අහිමි වනමං



කොලඹ කො‍ටුවෙන් අට පසුවී පිටත්වන මඩකලපුව තැපැල් දුම්රිය වාලච්චේන දී නැගෙනහිර මුහුදු තීරයට පිවිසෙන්නේ පාන්දර යාමයේ දී ය. එතැන්සිට වෙරළට සමීපව දකුණට ඇදෙන දුම්රියේ සිට අවට බලන්නෙකුට, අරුණලු නැගෙද්දී දිස් වන්නේ නැගෙනහිරටම ආවේනික අපූරු දසුන් පෙළකි.

*    *    *    *    *

එක්දහස් නමසිය අසූ එකේ ජනවාරි පළමුවැනි දින සිට පුහුණුවන අඩවි සහකාර තනතුරට පත්වීම් ලැබ සිටි මාත්, ශාන්තත්, ජයන්තත් එදින ඕකන්දේ පිහිටි යාල නැගෙනහිර ජාතික උද්‍යානයේ මූලස්ථාන කාර්යාලයේ දී සේවයට වාර්තා කළ යුතු වීමු. අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු කෙලවර ආසන්නයේ පිහිටි ඕකන්ද වෙත යාමේ අදහසින්, ඊට පෙර දින මඩකලපු රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණි මමත් ශාන්තත්, පොතුවිල් තැපැල් බසයට නැග ගතිමු.

*    *    *    *    *

අලියා පිළිබඳව ඇසීමෙන් කිසිවෙකු කලබල වූ බවක් නොපෙන්නුව ද සිත් තුල ඇති වූ ත්‍රාසය මුහුණු වල ලියැවී තිබිණි .....

..... මද දුරක් ඉදිරියට ගොස් කරත්තය නැවතූ බණ්ඩාර, පාරේ වම්පසින් වූ අතහැර දමන ලද හේනකට කෙවිට දිගු කලේ ය. පාරේ සිට මීටර තිහක් පමණ ඈතින් හේන මැද විසල් වූ වන අලියෙකු, නිසලව අප දෙස නෙත් හෙලා බලා සිටියේය.

*    *    *    *    *

විල්ලුව පසු කරද්දී සරුවට වැඩුනු උස් පොල් මණ්ඩියක් ඇතින් පෙනෙයි. උද්‍යානය තුළ පිහිටි එක ම මිනිස් ජනාවාසය වන කුමන ගම්මානය පිහිටන්නේ මෙහිය. අති දුෂ්කර වූත්, දහසක් දුක් දොම්නසින් පිරීගියා වූත් ජීවිතයක කරවටක් ගිලීගිය දුගී පවුල් විසි පහක් තිහක් එවකට මෙහි විසූහ.

*    *    *    *    *

1983 දී ඕකන්ද කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක්
තවත් වරෙක ඕකන්ද මුලු කාර්ය මණ්ඩලයම එක්ව තමනට හිරිහැර කළායයි සැලකූ උසස් නිළධාරියෙකුට විරුද්ධව කැබිලිත්ත දෙවියන් වෙත යාතිකා කළහ. සති කීපයක ඇවෑමෙන් ඉහත කී නිලධාරියාට බොහෝ අනපේක්ෂිත දුක් කරදර විඳින්නට සිදු විය. එසේ සිදුවූයේ කැබිලිත්ත දෙවියන් ඔහුට දුන් දඬුවම් නිසා ද, නැතහොත් ඔහුම කළ මෝඩකම් නිසාදැයි දන්නේ කැබිලිත්ත දෙවියන්ම පමණි.

*    *    *    *    *

ඉදිරියේ සිටියකුගේ සංඥාව අනුව නැවතී සැලකිල්ලෙන් බැලූ අපට දිවුල්ගස යට පොහොර මල්ලක් සහ රෙදි කඩමාලු පොදියක් තිබෙනු පෙනිණි. පිරිස නවතා, දෙතුන් දෙනෙකු සමග දිවුල් ගස යටට සෙමින් ළඟා වූ මා දු‍ටුවේ මගේ රාජකාරි ජීවිතයේ දී දු‍ටු අවාසනාවන්තම දසුනයි. අලියාගේ පහර දීමෙන් අතපය බිඳී මියගොස් සිටි අසරණ කාන්තාව, දූවිලි වැකීමෙන් කඩමාලු වූ ඇඳි වතෙහි දැවටී සිටියා ය.

*    *    *    *    *

මත් පැන් පානය කර වෙරි වූ විට අවට සිටිනවුන් සිප ගැනීමේ පුරුද්දක් ඇතිව සිටි මගේ උසස් නිලධාරියෙක්, වරක් සයිමන් ගේ මුහුණ ද බදා සිප ගත්තේය. ඔහු එසේ කළේ ආදරය නිසා ද, නැතහොත් හුදෙක් පුරුද්ද නිසාදැයි මම නොදනිමි. කෙසේ වුව ද, සයිමන් ආදර, ගෞරවය ලැබිය යුතු මිනිසෙකු විය. කුමන ගම සැදුනේ එවැනි මිනිසුන් ‍රැසකිනි.

*    *    *    *    *

'දෙපාර්තමේන්තුවට ඇවිත් ටික කාලෙකට පස්සෙ මාව කැ‍ඳෙව්වා සිංහල ප්‍රවීණතා පරීක්ෂණයකට. එතන හිටපු හාමුදුරු නමක් මේසෙට දාල තිබුනු රෙද්ද පෙන්නලා ඒක මොන පාට ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා හාමුදුරුවනේ මෙතනට ආපු හැම එකාගෙන්ම ඔය රෙද්දෙ පාට අහලා, අහලා, දැන් ඒකෙ පාට ගිහිල්ලා කියලා. මගෙන් වෙන මොකුත් ඇහැව්වෙ නෑ' තමන් විසින් ලබාගත් සිංහල භාෂා ප්‍රවීණතාවයට අරුල් එසේ උදාහරණයක් ද දැක්වීය.

*    *    *    *    *

අම්පාර ආසන්නයේ පාසලක ගුරුවරයෙකු ව සිටි මගේ පාසල් මිතුරෙකු වූ හෙන්රි (හෙන්රියාට කොටලා බලන්න) ද සමග වරක් මම ඉටිකල කලපුව වෙත, වනය තුළින් අඩි පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියෙමි .....

'.... අලියා' යයි කිසිවෙකුට කෑගැසෙත්ම ආපසු හැරුණු මම, අඩි පාර දිගේ දිව ගොස් වමට හැරී නෙලු පඳුරු අතරට වැදුනෙමි. එහෙත් ගනව වැඩුනු නෙලු ගාල බිඳගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කක් විය. හැකි තරම්  අඩි පාරෙන් ඉවත්ව කරට උඩින් හැරී බලත්ම මගේ මුහුණ ඉදිරියෙන් දුම්රිය ඇන්ජිමක් මෙන් දැවැන්ත ඇත් කඳ මා පසු කර ගියේය.

*    *    *    *    *

පාරට ගොඩ වූ ඇතින්න වාහනය දැක ඇසිල්ලකින් ඒ දෙස හැරුණාය. ජීප් රිය තුල සිර වී සිටි අප ඊලඟට දු‍ටුවේ කෙමෙන් විශාල වූ ඇතින්න ගේ රුව, ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනය වසා ගන්නා අයුරුය. හොඬය හකුලාගෙන හැල්මේ දිව ආ ඇතින්න දණ නමා සැණෙකින් ජීප් රියේ බොනට්‍ටුවට හිසින් ඇන්නාය.

*    *    *    *    *

ජනේලය තුළින් ගේ තුළට එබී බලමින් සිටි පෙරුමාල් දෙස නො ඉවසිල්ලෙන් බලා සිටි ජනයාට ඊලඟ ඇසිල්ලේ දී දකින්නට ලැබුනේ ජනේලයට යොදා තිබුණු ලී පොලු ද කඩාගෙන එළියට පිනූ කොටියා පෙරුමාල් බිම පෙරලා ගන්නා අයුරුය. නොසිතූ ලෙසින් ජනේලය තුළින් මතු වූ කොටියාගේ ග්‍රහණයට හසු වූ පෙරුමාල් මරහඬ තලද්දී, නාටකයේ ත්‍රාසජනකම ජවනිකාව නරඹන ජනයා වෙතින් ද නැගුණේ මහත් වූ විලාපයකි.

*    *    *    *    *

ඊ ළඟ මොහොතේ අපට ඇසුනේ යටිගිරියෙන් කෑ ගසන රවුෆ් ගේ හඬයි. ඔහු ගේ කෑ ගැසීම නිසැකවම අනතුරක සංඥාවක් වූයෙන් අපි වහා ගල්ගුහාව වෙත දුව ගියෙමු. නිරුපද්‍රිතව සිටිය ද රවුෆ් සිදු වූ දේ විස්තර කරන්නට වචන ගලපා ගත්තේ බොහො වැර වෑයම් කිරීමෙන් පසුවය. 'වලා ... පෙටියා එක්ක මාව දෙකලා ... දිව්වා...' රවුෆ් හති දමමින් විස්තර කළේය.

*    *    `*    *    *

ඕකන්දේ මා සිටි නිල නිවාසය පි‍ටුපස කජු ගස් දෙකක් අතර රඳවනු ලැබූ යකඩ බටයක බැඳ සිටි හීළෑ රිලවෙකු වූ 'බණ්ඩා' කාගේත් ආදරය දිනාගත් සුරතලා විය ....

.... බණ්ඩාගේ කාන්සිය ඉඳහිට මග හැරුණේ උද්‍යානය නරඹන්නට පැමිණි කණ්ඩායමක් බණ්ඩා දැක වට වූ කලය .....

කොට ගවුම් හැඳි කාන්තාවන් බණ්ඩා තුළ විශේෂ කුතුහලයක් දැනවීය. දෙපා අසලට පැමිණෙන බන්ඩාගේ දෑසෙහි ඇති විමසුම් බව තේරුම් ගන්නා කාන්තාවෝ පමණට වඩා බණ්ඩාට ළං නොවන්නට ප්‍රවේශම් වූහ.

*    *    *    *    *

අපට හමුවන විට මන්දට හසු වී දින කීපයක් ඉක්ම ගොස් තිබුණු හෙයින් නිරාහාරව දුබලව වැටී සිටි මුවැත්තිය ගේ ගෙළ මන්දට කැපී ඉහඳ තබා තිබිණි. පශු වෛද්‍යවරයෙකු වෙත ගෙනගොස් ඉහඳ පනුවන් ඉවත් කර ප්‍රතිකාර කළ ද උගුරු දණ්ඩ කම්බියට කැපීමෙන් දරුණු තුවාල ලබා සිටි මුවැත්තිය දින කීපයක් නිරාදුක් විඳ මියගියාය. අපට හමුවූ මොහොතේ සිට මරණය දක්වා, ඇය ගේ මුවින් කිසිදු හඬක් නො නැගුන ද, කඳුලු පිරි දුක්බර දෑසින් ජීවිතය ඉල්ලා හඬා වැ‍ටුනාය.

*    *    *    *    *

කුමන විල්ලුව
දිනක් උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක් නිම කළ ෂර්ලි පෙරේරා මහතා ආපසු පැමිණ 'තමුසෙට තෑග්ගක් ගෙනාවා' යි මා ජීප් රිය වෙත කැඳවීය. මුහුණ රතු වී, දෑස මදක් විශාල වී තිබුණෙන් කිසියම් වරදක් සිදුවී ඇති බව මට දැනිණි.  උද්‍යානයට පැමිණි අමුත්තන් විසින් තැන තැන විසිරුවා තිබී එකතු කර ගත් ටින් කැබෙලි, සිගරට් පැකට්, විස්කෝතු දවටන ආදී කැලි කසළ ‍රැසක් වාහනය තුළින් ඇද කාර්යාලය ඉදිරිපිට දැමූ ඔහු එන්ජිමද සැර ගන්වා ගෙන මුවින් නොබැන ම පිටව ගියේය.

*    *    *    *    *
   
1985 ජනවාරිය වන විට ත්‍රස්තවාදය යාල - නැගෙනහිර දොරකඩ වූ, පොතුවිල් දක්වාම පැතිර තිබිණි ....

.... පරණ බෝක්කුවක් වළලා ගැනීමෙන් තනන ලද කුඩා ළිඳක් වූ එහි සිසිල් වූ ජලය නෑම සතුට ගෙන දෙන්නක් විය. නාන අතරතුර සිහිපත්වන පැරණි ගී සිව්පද කොටස් ගායනා කිරීම අඩවි ආරක්ෂකවරයාගේ සිරිත විය.

හදිසියේ ම වැව් බැම්ම මතින් මතු වූ අමුත්තන් කිහිප දෙනෙකු නිසා, එදින දිය නෑමේ ප්‍රීති ප්‍රමෝදය වැඩි වෙලාවක් නො පැවතිණි. ඔවුන් ගේ රළු පරළු පෙනුම හා අත් දරා සිටි  ස්වයංක්‍රීය  ගිනි අවි ද සිදුවන්නට යන දේ කෙටියෙන් කියා පෑවේය.

*    *    *    *    *

නිල නිවාසයේ සිටම එබී බැලූ ඔහුට දැක ගන්නට ලැබුනේ අවිගත් නාඳුනන පිරිසක් කාර්යාලයේ ඉදිරි දොර හැර ගන්නට උත්සාහ දරණ අයුරුය. අමුත්තන් හඳුනා ගන්නට දෙවරක් සිතා බැලීම උවමනා නොවීය. හැඳ සිටි සරම පිටින් ම ඉගිල ගත් ගුණරත්නට නිල නිවාසයේ කෙටි බිත්තිය හෝ නිල නිවාසය පි‍ටුපස කම්බි වැට බාදක ලෙස පෙනුනේ නැත.

*    *    *    *    *

ආපසු පිටත්ව පැමිණි නිලධාරීන් පිරිස ‍රැගත් වාහනයට, හැලව කලපුව පසුකර මඳ දුරක් එද්දී මග ‍රැක සිටි ත්‍රස්තයන්ගෙන් වෙඩි වරුසාවක් එල්ල විය. පසුව වාහනය අසලටම පැමිණි ත්‍රස්තයෝ වෙඩි වැදී වේදනාවෙන් ඇඹරෙමින් සිටි පිරිසට නැවත වෙඩි තැබූහ. ප්‍රහාරයේදී සහකාර අධ්‍යක්ෂවරයා, කේ. ටී. පී. පෙරේරා මහතා, අරුල්, ඩිංගිරි බණ්ඩා යන සතර දෙනාම දිවි පිදූහ. දෙතුන් දෙනෙකු පමණක් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්තේ මිය ගියවුන්ට යටවීමෙනි. යාල - නැගෙනහිර ජාතික උද්‍යානයේ ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමේ අවසන් ප්‍රයත්නය ද නිමාව දු‍ටුවේ මෙවන් ඉතා දුක්ඛිත සිදුවීමකිනි.

*    *    *    *    *

(මරදානේ දයාවංශ ජයකොඩි සමාගමය විසින් ප්‍රකාශිත 'යාල - නැගෙනහිර අහිමි වනමං' පොතෙන් උපුටා ගන්නා ලදි)